මැතිවරණයට වෙන්කළ මුදල් කොරෝනා මර්ධනයට යොදවන්න – සජිත් රජයෙන් ඉල්ලයි

0
211

මිනිස් ජීවිත සඳහා ලබාදිය යුතු ප්‍රමුඛස්ථානය ලබාදෙමින් මහමැතිවරණයට වෙන්කර ඇති සම්පූර්ණ මුදල මේ මොහොතේ කොරෝනා වෛරසය මැඬපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොදවන මෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. 

“විපක්ෂ පාර්ශ්වයේ වර්තමානයේ සිටින කණ්ඩායම හැටියට අපි බොහොම වගකීමෙන් කටයුතු කරලා තිබෙනවා. ඊයේ තීන්දුවක් ගැනුනා දින 14ක් රැස්වීම් නතර කරන්න, අපි රැස්වීම් අවලංගු කළා. 

මම රටේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවෙ, සමස්ත රටවැසියන්ම සන්සුන්ව කටයුතු කරන්න ඕනේ. නොසන්සුන්තාවයන් ඇතිකර ගෙන රට අරාජික කරන්නට එපා. මේ උතුම් රට, උතුම් මාතෘ භූමිය නිදුක් නිරෝගී සුවපත් රටක් බවට ඉතාමත්ම ඉක්මනින් පත් කරන්නට කොන්දේසි විරහිතව අපේ සහයෝගය, ශක්තිය ලබාදෙනවා. 

දැන් මේ වර්තමාන තත්වය තුළ මහමැතිවරණයකට නාමයෝජන කැඳවලා තිබෙනවා. අපි ඒවාට මුහුණ දෙන්න ලෑස්තියි. නමුත් කරුණාකරලා කියන්න සති දෙකක රැස්වීම් තහංචියක් දමලා, 12 වෙනිදායි 19 වෙනිදායි අතර නාමයෝජනා දෙන්නත් කියනවා, එතකොට ගෙන් ගෙට යන්නත් බැහැ, පත්‍රිකා බෙදන්නත් බැහැ, ඉතිං මෙහෙම තත්වයක් තුළ කොහොමද මැතිවරණයක් ක්‍රියාත්මක කරන්නේ ? ජාත්‍යන්තරයේ දැන් මැතිවරණ ගණනාවක් කල්දමලා. 

ඒනිසා නරකද මැතිවරණයක් වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ගතයුතු සියලුම විධිමත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ? මේකට පැහැදිලිවම අපට පිරිසිදු තීන්දුවක් අවශ්‍යයයි. මේ තත්වය පිළිබඳ කතා කරන්නෙ නැතුව නිද්‍රාශීලීව සිටීම බොහොම බරපතළ වරදක් මේ රජයේ. අපි ලෑස්තියි උදව් කරන්න. මිනිස් ජීවිතවලට දෙන්න ඕනෙ ප්‍රමුඛස්ථානය ලබාදෙන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here