දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවයි

0
184

අභ්‍යන්තර අර්බුද පවතින දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අද (10) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. 

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උදෑසන 10.30යේ සිට අවස්ථා කිහිපයකදී අදාළ නියෝජිතයින්ට මැතිවරණ කොමිෂන්සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි. 

අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය, ලිබරල් පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතීශීලි පෙරමුණ යන පක්ෂ 06ට මෙලෙස මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මෙම පක්ෂවල සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ගැටලු පවතින අතර මීට අමතරව පක්ෂ අයිතිය සම්බන්ධයෙන් ද අභ්‍යන්තර අර්බුද මතුව ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. 

මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයඳුම්පත් මාර්තු මස 16 වනදිනට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එම කොමිසම දැනුම් දී තිබේ. 

තැපැල් ඡන්ද සලකුණු කරන දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය. 

මේ අතර මැතිවරණ කොමිසම සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිතයි. 

මැතිවරණයේ ඉදිරි කටයුතු සිදුකිරීමේ දී තැපැල් දෙපාර්තමේන්තුව විශාල කාර්යය භාරයක් සිදුකරන අතර එම කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා අදාළ හමුව පැවැත්වෙන බව එම නිලධාරියා සඳහන් කළේය. 

මේ අතර මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් 24ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here