ලංකා ප්‍රිමියර් ලීග් සඳහා දින නියම වේ

0
331

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 27 වනදා ආරම්භවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ, රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව තිබූ අවිනිශ්චිතභාවය පිළිබඳ ජනාධිපතිවරයා සමග පැවත්වූ සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණයට එළඹීමට හැකිවූ බවය.

මීට පෙර නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබුණි.

නමුත් ශ්‍රී ලංකාව තුළ ඇතිවූ දෙවන කොවිඩ් රැල්ලත් සමග ලන්කන් ප්‍රිමියර් තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත විය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා, සෞඛ්‍ය බළධාරීන් ඇතුළු පිරිසක් සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වුණි.

එහිදී තරගාවලිය පැවැත්වීම සඳහා නිල වශයෙන් අවසරය හිමිවූ අතර තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින් දින 7ක් නිරෝධායනයවීම ඇතුළු තවත් සෞඛ්‍ය නිර්දේශ කිහිපයක් අනිවාර්යකර තිබේ.

වික්‍රමරත්න මහතා සඳහන් කළේ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව තරගාවලිය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට තීරණය කළ බවය.

මීට පෙර හම්බන්තොටදී සහ පල්ලෙකැලේදී මෙම තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින තත්ත්වය සලකා බලා තරගාවලියේ සියළු තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here