රාජිතගේ ඇප නියෝගයට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ පෙත්සම් විභාගය කල්යයි

0
407

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය ලබන 10 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(05) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා අද දින අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙම නඩුවේ විවාදය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය මේ මස 10 වනදා දක්වා කල් දමන බව නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ප්‍රතිශෝධන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිදු ආකාරයකින් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

එමෙන්ම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතු වලට සිදුවන හානිය පිළිබඳව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු බැහැර කොට මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

මෙම නියෝගය තුළින් නීතිය බරපතළ ලෙස අප ගමනකට ලක්වීමට ඉඩකඩ නිර්මාණය වී ඇති හෙයින් එම ඇප නියෝගය බල රහිත කර සැකකාර හිටපු මාධ්‍ය රාජිත සේනාරත්න මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here