යුද හමුදාව ඉදිකළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

0
50

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේ ය.

වාට්ටු 03කින් සමන්විත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි.

යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී ඉදිකිරීම් නිම කළ මෙය නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසකින් සමන්විත වේ.

ආබාධිත රණවිරුවන් විසින් පැය 24ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කර දී තිබේ.

නිවෙස්වලදී ප්‍රතිකාර ලබා දිය නොහැකි, එහෙත් බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිත අතර එමගින් රෝහල්වල තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව මෙහි ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට නියමිත අතර බෝ නොවන රෝගවලට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීමට ද මෙහිදී පහසුකම් සලසා තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here