මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙනවා -විදෙස් ලේකම්

0
202

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එකට සිටගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ “ඉන්දියා ටුඩේ” සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

පසුගිය පෙබරවාරි 25 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, මිෂෙල් බැෂෙලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ආවාය.

එහිදී ඇය ශ්‍රී ලංකාවේ ගැටුම් නිමවී වසර 12ක් ගත වුවද සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවට චෝදනා කළාය.

එම යෝජනාව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කළේය.

ඉන් පසුව පැවති අදහස් දැක්වීමේ වාරයේදී, රටවල් 21ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ අතර රටවල් 15ක් මිෂෙල් බැෂෙලේගේ යෝජනාවට පක්ෂව අදහස් දක්වා තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 47දෙනා අතර දකුණු ආසියානු රටවල් 4ක්ද සිටී. ඒ, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යි.

පාකිස්තානය සහ නේපාලය ශ්‍රී ලංකාවට සහාය දෙන බව පවසා ඇතත් ඉන්දියාව සහ බංග්ලාදේශය තමන් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කරන බවක් මෙතෙක් පවසා නැත.

“මම හිතනවා ඉන්දියාව අවශ්‍ය අවස්ථාවේදී ශ්‍රී ලංකාව ට සහාය දෙයි කියලා. අපි දන්නවා තමිල්නාඩුවේ ඡන්දය පැවැත්වෙනවා ඉදිරියේදී. අපිට තේරුම්ගන්න පුළුවන් තමිල්නාඩුවේ තත්ත්වය. එහි දී ශ්‍රී ලංකාව හැමවිටම මාතෘකාවක් වෙනවා. අපිට එය තේරෙනවා. නමුත් ඉන්දියාව අපේ හොඳම මිතුරා. අපේ ළඟම ඥාතියා. අපේ ප්‍රාර්ථනය ඉන්දියාව අප සමග සිටගනී කියලා.”

ආචාර්ය කොළඹගේ මහතා තවදුරටත් පැවසුවේ ඉන්දියාව මොනයම් ආකාරයේ තීරණයක් ගත්තද එමගින් රටවල් දෙක අතර ඇති මිත්‍රත්වයට හානියක් නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here