පාස්කු මහා මොළකරුවන් ගැන විමල් දන්නවා කිව්වා. එයාගෙන් ප්‍රශ්න කරන්න. සමගි තරුණ බලවේගයේ සාමාජිකයන්ගෙන් පැමිණිල්ලක්.

0
336

සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් වන එරංද වැලිඅංගේ, තාරක නානායක්කාර, පා.ම කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් අද දින පැමිණිල්ලක් සිදු කොට තිබෙනවා.

එ සම්බන්ධයෙන් වැලිඅංගේ මහතා තම ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් පහතින්,

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිට වී තිබුනද තවමත් එහි වරදකරුවන් කවුද යන්න අනාවරණය වී නැත.එහෙත් ඒ බැව් සොයා ගැනීමට හෝ ආණ්ඩුව උත්සුක වන බවට පෙනෙන්නටවත් නැත.

එවැනි තත්වයක් තුල අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ කලේ ,ඉදිරියේදී අන්තවාදීන් හා දීගයකට සැරසෙන ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් මේ සඳහා විවිධ බලපෑම් කරන බවයි.

තත්වය එසේ නම් ඒ කවුද යන්න රටට හෙළි දරව් කල යුතුව ඇත.

එබැවින් ඒ සඳහා වහාම මැදිහත් වී විමල් වීරවංශ මහතාගෙන්ද තොරතුරු ලබා ගන්නා ලෙසට බල කරමින් අද දිනයේදී පැමිණිල්ලක් භාර දෙනු ලැබීය.

ඒ සඳහා මා මිත්‍ර කාවින්ද ජයවර්ධන සහ තාරක නානායක්කාර යන දේශපාලන ක්‍රියාධරයින්ද මා සමඟ එක් විය.

එම පැමිණිල්ල පහතින්
…………………………………………………………….

අධ්‍යක්‍ෂ,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,

කොළඹ 01.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් හදුනාගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධවයි.

2019 අප්‍රේල් 21 පාස්කු දින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන් 271ක ප්‍රමානයක් මියගොස් තවත් 300කට අධික ප්‍රමාණයක් තුවාල ලබන ලදී.

වර්තමාන රජය බලයට පත්වීමේදී දෙන ලද ප්‍රධානතම පොරොන්දුවක් වූයේ පාස්කුදින ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත්, එකී ප්‍රහාරය හෙතුවෙන් පවුලේ සාමාජිකයින් මියගිය අයවලුන් ඇතුලු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම යුක්තිය ඉටු කරන බවයි.

ඉහත කී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටු සහ කොමිෂන් රැසක් පත් කරන ලද අතර මෙම රජය විසින් එකී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට එලි දක්වා ඇත.

එකී වාර්තාවේ නිරවද්‍යතාවය සහ සත්‍යවශයෙන්ම එකී කොමිෂන් වාර්තාව මගින් ඉහත කී ආකාරයේ, නිසි වගකිවයුත්තන් සොයාගෙන ඇත්තේද යන්න පිළිබඳව රටට ඇත්තේ බලවත් ගැටළුවකි.

සමස්ත රට වැසියන්ම එකී ප්‍රහාරය සම්බන්ධව පත් කරන ලද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් හා එහි පරීක්ෂණ වල ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉච්ඡාභංගත්වයට පත්ව සිටින අවස්ථාවක වර්තමාන ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතා, වර්ෂ 2021 මාර්තු 09 දින, කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රනයක දී අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවන්ට දඩුවම් ලබාදීම වලක්වා ඇත්තේ ආණ්ඩුවේම පිරිසක් බවට ප්‍රකාශ කරන ලදී. එමෙන්ම එකී ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදීන් ආරක්ෂා කරන්නේ, එම අන්තවාදීන් සමග අනාගතයේදී දීග කෑමේ අරමුණින් සිටින ආන්ඩුවේම පිරිසක් බවටද ප්‍රකාශ කල අතර තවදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසම තුලද සහරාන්ගේ අවතාර ක්‍රියත්මක වූ බවයි.

ඉහත සඳහන් ප්‍රකාශය දෙස බලන විට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සැකසීමේ දී ආණ්ඩුවේ යම් යම් පුද්ගලයින් එකී කොමිසමට බලපෑම් කරමින් එම කොමිෂන් වාර්තාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ඇති බව පැහැදිලි වේ. එමෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීම වලක්වා ඇත්තේ ආණ්ඩුවේම පිරිසක් වන බවට කර ඇති ප්‍රකාශයෙන් එකී ප්‍රහාරයේ මහ මොලකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවටද පැහැදිලි වේ.

කරුණු මෙසේ හෙයින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් කවුරුන්ද යන වග සහ ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒම වලක්වන ආණ්ඩුවේ පිරිස කවුරුන්ද යන්න අමාත්‍ය විමල් වීරවංශ මහතා හොඳින් දන්නා බව එකී ප්‍රකාශය මගින් මනාව පැහැදිලි වේ.

ඉහත සඳහන් සියලු කරුණු විමල් වීරවංශ අමත්‍යවරයා විසින් එකී දේශනයේදී ප්‍රකාශ කල බව වර්ෂ 2021/03/10 දිනයේ පල වූ මව්බිම පුවත් පතේ සඳහන් විය. පරිශීලනය කිරීමේ පහසුව සඳහා අදාල පුවත් සටහනේ පිටපතක් මේ සමග ඉදිරිපත් කර ඇත.

කරුණු මෙසේ හෙයින් ඉතා කඩිනමින් විමල් වීරවංශ මහතාගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධව විස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙසත් සහ ඒ හරහා එකී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දඩුවම් දීම වැලැක්වීමට ක්‍රියාකරන ලද පුද්ගලයින් හඳුනාගෙන එම සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමු.

යම් හෙයකින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් තොරතුරු අනාවරණය වී තිබියදීත් නොසැලකිලිමත් ලෙස කටයුතු කරමින් අපරාධකරුවන් සහ ඔවුන්ට අනුබල දෙන්නන්ට නිදැල්ලේ යාමට ඉඩ හැරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගොස් පාස්කු ප්‍රහාරයේ වින්ධිතයන්ට හා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

ස්තූතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here