ජනපති, අගමැති සහ විපක්ෂ නායකගේ වෙසක් දින සුබ පැතුම්

0
38

වෙසක් දිනයේ සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව මෙවර තාවකාලිකව අත්හිටුවා ඇතැත්, උතුම් තෙමඟුල සිහිපත් කිරීමට එය බාධාවක් කර නොගත යුතු බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය වෙසක් දින පණිවුඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නිවෙස් තුළම රැඳී සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ලෙසයි.

සකලසත වෙත මෛත්‍රීය පැතිරවීමට බුදුන්වහන්සේ දේශනා කළ සේ ම, අනන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්, යහපැවැත්මත් උදේසා කැපවීම, මේ වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම බව ද ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන් ය.

රටේ පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සංකේතවත්ව පමණක් වෙසක් මහෝත්සවය පවත්වන ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ කළ අනුශාසනාව සිත්හි දරා, රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවනින් යුතුව සැමරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර, සියලු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව හා මෛත්‍රීය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවායි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් දින පණිවුඩයෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී මෙවර නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් මංගල්‍යය සමරන ලෙසයි.

උතුම් තෙමඟුල සොබාදහමට හිතැතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සැමරීම, බුදු දහමේ සැබෑ අරුත පසක්වන්නට හේතු වනු ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං”, “නිරෝගී බව උතුම් ලාභයකි, සතුට උතුම් ධනයකි” යන්න බුදුන් වහන්සේ දේශනා කොට ඇති බවත්, එකී සත්‍ය අද වෙනදාටත් වඩා ඉස්මතුවෙමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here