කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

0
178

ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් – 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන් 6දෙනෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා ජෝර්දානයෙන් වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ එරට සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට රජය පවසන්නේ, සිද්ධිය සම්බන්ධ සදාචාරාත්මක වගකීම තමන් භාරගන්නා බවය.

එය තම රටේ සිදුවූ දැවැන්ත වරදක් බවද අදහස් දක්වමින් ජෝර්දාන අගමැතිවරයා පවසා ඇත.

ජෝර්දානයේ අම්මාන් අගනුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර, මාතෘ හා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු කිහිපයකින් මෙම ඔක්සිජන් හිඟය වාර්තාවී තිබුණි.

රෝගීන් පිරිස මියයාම ගැන කෝපයට පත් ඔවුන්ගේ ඥාතින් දැඩි කලහකාරී ලෙස හැසිරී තිබූ අතර පිරිස පාලනයට පොලීසිය යෙදවීමටත් සිදුවූ බව වාර්තා විය.

මේ අතර ලොව කොවිඩ් ආසාදිත සහ මරණ ලැයිස්තුවේ දෙවැනි තැන පසුවන බ්‍රසීලයේ ගෙවුණු දිනයේදීත් ආසාදිතයින් 70,000 ඉක්මවා වාර්තා වී තිබුණි.

එරට ඊයේ පමණක් සිදුවූ මරණ ගණන 1,940කි.

වසංගතය තරමක් පාලනය කර සිටි ඉන්දියාවෙන් ද ඊයේ දිනයේ ආසාදිතයින් 25,153 ක් වාර්තා වී තිබුණේ මේ වසරේ එරටින් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා කරමිනි.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය වන්නේ, නව කොවිඩ් ප්‍රභේද වාර්තාවීම, සමාජ ඒකරාශීවීම් ඉහළයෑම හා ජනතාව වැඩි වැඩියෙන් සංචාරවල නිරතවීම ඊට හේතුවී ඇති බවය.

කැපී පෙනන වේගයෙන් කොවිඩ් එන්නත්කරණය සිදුවෙමින් තිබියදී පවා මෙවන් තත්ත්වයක් වාර්තාවීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here