කතෝලික ජනතාව දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා -අගමැති

0
259

අපේ රටේ කතෝලික ජනතාව ඉතාම  දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල රදගුරු පදවිය විසින් සංවිධානය කළ රාජ්‍ය නත්තල් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, මල්කඩුවාව පාතිමා දේව මෑණියන්ගේ දේවස්ථානයේ දී  අද (19) පැවැත්විය.

එම අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා පවසා සිටියේ, සියලුදෙනා එක්වී නත්තල් උත්සවය පැවැත්වීමෙන් ලෝකයට ආදර්ශයක් ලබාදී ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“අද අපිට විතරක් නෙවෙයි ලෝකයේ සියලුම රටවලට සෞඛ්‍ය නියමයන්ට මුල්තැන දීලයි වැඩකටයුතු කරන්න වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුව ශ්‍රී ලාංකික කතෝලික ජනතාව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. කතෝලික කිතුණු ජනතාව ඉතාමත් බුද්ධිමත්, දුරදිග බලන ජනතාවක්. තමන්ගේ ආගමේ සිරිත් විරිත්, තමන්ගේ ආගමේ චාරිත්‍ර වාරිත්‍රවලට වඩා පොදු මනුෂ්‍යය වර්ගයා පිළිබඳව මේ විපත්තිකර අවස්ථාවේ හිතන්න, කතෝලික ජනතාව පෙළඹෙන බව මම දන්නවා. කතෝලික ජනතාව මුළු ලෝකයටම දෙන වැදගත්ම නත්තල් පණිවිඩය තමයි මේ පොදු මනුෂ්‍යයා පිළිබඳ හැඟීම. අපේ රටේ කතෝලික ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා. මට මතකයි පසුගිය වසරේ, ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා, තමුන්නාන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකටත් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාලවුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උට්ඨානය සමරන්න පල්ලිවලට රැස්වෙලා හිටපු බැතිමතුන්. මේක ආසියාවේ විතරක් නොවෙයි, ලෝක මට්ටමෙනුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය. නමුත් කතෝලික ජනතාව කිසිදු ලේ බිංදුවක් සෙලවෙන්නේ නැති විදියට ඒ මොහොතේ කටයුතු කළා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව සියලු දෙනා සාමකාමීව කටයුතු කරලා ලෝක ජන ප්‍රසාදය දිනාගත්තා.“

මෙහිදී, සමස්ත ලංකා කතෝලික දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතින් සිදුවිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here