ඉතාලියෙන් පැමිණි දෙදෙනාට කොරෝනා නොමැති බවට තහවුරුයි.

0
354

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට අයි.ඩී.එච් උණ රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වී ඇත.

ඉතාලියේ සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර සහ රාගම ශික්ෂණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ අයි.ඩී.එච්. උණ රෝහල වෙත ඇතුලත් කර තිබුණි. 

ඒ අනුව මොවුන් දෙදෙනාගේ රුධිර සහ ඛේට සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ අතර එම වාර්තාවන්ට අනුව අදාල පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව අයි.ඩී. එච්. උණ රෝහලේ අධ්‍යක්ෂ හසිත අත්තනායක මහතා සඳහන් කළේය. 

කෙසේවෙතත් මෙම පුද්ගලයින් දෙදෙනා තවදුරටත් අයි.ඩී.එච්.උණ රෝහල තුළ රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීම් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වෙයි.

ලොව පුරා පුද්ගලයින් 83,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර මේ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2922 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

කොරෝනා ආසාදිතයෙකු ප්‍රථමයෙන් වාර්තා වූ චීනයෙන් මේ වනවිට මරණ 2835 ක් වාර්තා වී ඇත. 

මීට අමතරව ඉරානයෙන් පුද්ගල මරණ 34ක්, ඉතාලියෙන් මරණ 21ක්, දකුණු කොරියාවෙන් 16 ක්, ජපානයෙන් මරණ 10 ක්, හොංකොං සහ ප්‍රංශයෙන් මරණ 2 ක් සහ පිලිපීනයෙන් හා තායිවානයෙන් එක් මරණය බැගින් වාර්තා වෙයි. 

මේ අතර දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2931ක් දක්වා ඉහල ගොස් ඇත. 

ඊයේ රාත්‍රියේ දී පමණක් වෛරස ආසාදිතයින් 594 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here